මුල් පිටුව පිහිටීම් මාතර ‍කොටුව

මාතර ‍කොටුව

පලමු වරට මාතර ‍කොටුව ඉදි කරන ලද්‍දේ‍ පෘතුගීසීන් විසින් යැයි පිළිගැ‍නේ. පෘතුගීසීන් ‍කෝට්‍ටේ ‍දොන් ජුවන් ධර්මපාල රජු‍ගේ සහය මත ක්‍රි.ව. 1595 දී මාතර ‍කොටුවක් ඉදි කළ බව පිළිගැණුන ද වර්තමාන ‍කොටුව ලන්දේසීන් විසින් ක්‍රි.ව. 1645 දී නිල්වලා ගං ‍මෝය, කලපුව හා මුහුද අතර වූ ත්‍රිකෝණාකාර බි‍මෙහි  ඉදි කර ඇත. නමුත් කොටු දොරටුවේ දැනට සටහන්ව ඇති දිනය ක්‍රි.ව. 1789 වන අතර එය ‍කොටුව ඉදි කළ දිනය ‍නොව නැවත ප්‍රතිසංස්කරණය කළ දිනයක් බවට සාධක ‍වේ.

ලන්දේසීන් ඉදි කළ ‍කොටුව ක්‍රි.ව. 1761 දී මාතර කැරැල්ල නමින් හැඳින්වෙන උඩරට ආක්‍රමණය හේතු‍‍වෙන් සිංහල හමුදාව සතුවී ඇත. නමුත් 1762 ‍‍පෙබරවාරි 02 දා නැවත ලන්දේසීන් ‍කොටුවේ බලය තහවුරු කර ‍ගෙන ඇත. 1796 ‍‍පෙබරවාරි 24 වන දින මාතර ‍කොටුව ලන්‍‍දේසීන් විසින් ඉංග්‍රීසීන්ට පවරා දී ඇත.

මාතර ‍කොටුව කළුග‍ලෙන් හා හුණු ග‍ලෙන් නිර්මාණය කර ඇති අතර ‍කොටු බැම්ම හා දොරටුව ඉතා හොඳින් ආරක්ෂා වී පවතී. ලන්දේසි පාලන සම‍යේදී ‍කොටුව තුළ ඇත්ගාලක්, දිසාපති නිල නිවස, පැරණි පල්ලිය, කුරුඳු, පුවක් හා ‍වෙඩි ‍බෙ‍හෙත් ගබඩා පැවතී ඇත. ‍මෙහි ශේෂිත පැරණිතම ‍ගොඩනැගිල්ල වන්නේ කැණිමඩල සහිත මහලකින් යුක්ත ලන්දේසි වාස්තු විද්‍යා‍‍ ලක්ෂණ පිළිබිඹු කරන පැරණි ඕලන්ද පල්ලියයි. පල්ලි‍යේ ඇති පැරණි ඕලන්ද ‍‍සොහොන් අතර පැරණිතම සොහොන් ගල ක්‍රි.ව. 1686 දී කළ බවට සාධක ‍වේ.

මාතර කොටුවට බ්‍රිතාන්‍ය පාලන සම‍යේ එක් වූ ‍ගොඩනැගිලි ‍ලෙස උසාවි ‍ගොඩනැගිල්ල, තානායම, මාතර ‍පොලිස් ‍ගොඩනැගිල්ල හඳුනාගත හැකිය.